පෙබ.06- සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2 - 0ක් ලෙස ජය ගනිමින් ශූරතාවය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අද පැවති තෙවන සහ අවසන් එක්දින තරගයේදි ලකුණු 26 ක ජයක් ලබා ගනිමිනි.
එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රි ලංකාවට ලබා දුන්නේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදි කඩුලු 9ක් දැවී ලකුණු 277 ක් ලබා ගැනීමට සමත් විය.
නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර ලකුණු 75ක් ලබාගත් අතර මහේල ජයවර්ධන ලකුණු 44ක් ලබා ගත්තේය.
උපුල් තරංග ලකුණු 39 හා ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 36ක් ලබා ගැනීමට සමත් විය.
පන්දු යැවීම්දි කොදෙව් කණ්ඩායමේ සුලෙයිමන් බෙන් කඩුලු 4ක් දවාගත් අතර ඩ්වයින් බ්‍රාවෝ කඩුලු 2ක් දවා ගත්තේය.
ලකුණු 278ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමට පන්දුවාර 49ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 251ක් පමණි.
ඩැරන් බ්‍රාවෝ ලකුණු 79ක් ලබාගත් අතර රාම්නරේෂ් සර්වාන් ලකුණු 51ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේදි අජන්ත මෙන්ඩිස් ලකුණු 46කට කඩුලු 4ක් දවාගත් අතර තිසර පෙරේරා ලකුණු 36කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.
දිල්හාර ප්‍රනාන්දු ලකුණු 45කට කඩුලු 2ක් දවා ගත්තේය. තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාරට හිමි වූ අතර තරගාවලියේ වීරයා සම්මානය ශ්‍රී ලංකාවේ උපුල් තරංගට හිමිවිය.